Saturday, October 31, 2020

ඉතිහාසය මුදවා නොගත් කලාපයක් (ද?)

 නොවැම්බර්, 2020

විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳලම ඉතිහාසයට සම්බන්ධ ලියවිලි කියවීමේ විශාල උනන්දුවක් මට තිබුණා. ඒ විෂය සම්බන්ධව විශේෂ හැදෑරීමක් නැති වුනාට ඉතිහාසය විෂය දර්ශනය ඉගෙන ගන්න අය විසින් හැදෑරිය යුතු කලාපයක් කියල අපි අතර තිබුණ විශ්වාසය මේ උනන්දුවට හේතුව විය හැකියි. මම මේ බ්ලොග් අවකාශයේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසය සම්බන්ධව දිගටම සිදුවන කියවීම් ආශ‍්‍රයෙන් මතුවෙන  අදහස් ටිකක්.

මේ සති අන්තය පුරාවට බස්නාහිර පළාතට ඇදිරිනීතිය දාල නිසා, සම්පූර්ණ සෑහෙන විවේකයක් තිබුණ නිසා මේ වැඩේ මෙතැනින් පටන් ගන්න  ඕනි කියල හිතුවා.

1. අපේ රටේ ඉතිහාසය කියන්නෙම සටන් බිමක් කියල එක පැත්තකින් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉතිහාසය එක්ක තමයි සටන් කරමින් ඉන්නේ කියන අදහසින්. යටත්විජිතයෙන් පසු කාලය විතරක් ගත්තත් ජාතික රාජ්‍යය හදන්න විවිධ පැතිවලින් අපි කරමින් ඉන්නේ ඉතිහාස අරගලයක්. මෙය භෞතිකමය විෂය වස්තුවක්  අරභයා කරන අරගලයක් නොව පරිකල්පිත විෂය වස්තුවක් මත කරන අරගලයක් නිසා මෙහි තිබෙන සැක සංකා හා අවිනිශ්චිතභාවය ඉතාමත් විශාලයි. මේ අරගලයේ භූමිය වෙන්නේම පරිකල්පිත වසමක් යැයි කීමේ වැරුද්දක් නැහැ. තවත් පැත්තනික් කියන්න පුළුවන් මේ අරගලය ඉතිහාසය වෙතින් (from the history) ඉතිහාසයක් සඳහා (for the history) ඉතිහාසය තුළින් (through the history) කරන එකක් කියල.

2. අනෙක් අතට මේ  ඉතිහාස අවකාශය කියන්නෙම තවමත් මුඳවා නොගත් ප‍්‍රදේශයක් කියල කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉතිහාසයකරණය තුළ අපි තේරුම් ගත යුතු වැදගත් කාරණාවක්. මේ විෂය ක්ෂේත‍්‍රයේ ‘අවසාන අර්ථය සපයන්නා‘ යනු හරිම ගැටළු සහගත කාරණයක්. පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ තිබුණ එක රැස්වීමක කෙරුණ සංවාදයක් මේ සාකච්ජාවට සහාය පිණිස ගත හැකියි. මේ ඉතිහාසකරණයට සමබ්න්ධ කරගත හැකි  වැදගත් සංවාද පදනමක් එහි තිබුණා. මෙවර පාර්ලිමේන්තුවට උතුරු පළාතෙන් තේරී පත්වූ විග්නේශ්වරම් මහතා ඔහුගේ මුල්ම කථාවේදී කිව්ව ලෝකයේ පැරැණිම භාෂාව දෙමළ භාෂාවයි කියල. දැන් මේ අදහස ගැන අපේ පැත්තේ හිටිය සමහරුන්ට කියන්න අවශ්‍ය වෙලා තිබුණා මේ විග්නේශ්වරන් කියන එක ඇත්ත ඉතිහාසය නෙමෙයි, ඒ නිසා එය ඉල්ලා අස්කර ගත යුතුයි කියල. පාර්ලිමේන්තුවේ නවක මන්ත‍්‍රීවරුන් සඳහා පවත්වපු වැඩමුළුවක මේ ප‍්‍රශ්නය ඇදිල ආවා. අපේ සමහරුන්ගේ මතය වුනේ ‘ඉතිහාසය ගැන වැරදි කියන කොට ඒවා නිවැරදි කරන්න අවශ්‍යයි‘ කියල. මේ සම්බන්ධව සාකච්ජාවේදී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කීවේ පාර්ලිමේන්තුවේ වෙන කෙනෙක් ඉතිහාසය කියල හිතාගෙන කියන දේට තමන් එකඟ නැත්නම් තමන් එකඟවන ඉතිහාසය තමන් කථා කරන වෙලාවට කියනව මිසක් අනෙක් එක්කෙනාගේ ඉතිහාසය පිළිබඳ මතය ඉල්ලා අස්කරවන්න බැහැ කියල. මේ අදහස මට ඉතාමත් හොඳට තේරෙන එකක්. ඒත් අපේ සමහරුන්ට මේ අදහස ටිකක් අවුල් වගේ තත්වයක් එයින් පස්සේ මතුවුනා. සංවාදයේ පදනම වුනේ අපි දත්තමය වශයෙන් දන්න දේවල් කියල දෙයක් ඉතිහාසයට සම්බන්ධව තියෙන බවත්, ඒ දන්න දේවල් වරද්දල කියන්න බැහැ කියල. (උදා - ලංකාවට නිදහස ලැබුනේ 1948 පෙබරවාරි 4 වෙනිද වගේ දත්ත) නමුත් මෙතැනදීත් ප‍්‍රතිතර්කයක් විදියට මතුවුනේ ඉතිහාසය වැනි ක්ෂේත‍්‍රයක ‘දත්ත මගින් දන්න දේවල්‘ කියන ඒව සමාජමය සම්මුතීන් ලෙසින් මිස වෙනත් ලෙසකින් තේරුම් ගත හැකිද කියන කාරණයයි. සමහර භෞතික විෂය වස්තූන් හා නෛතික දේවල් වගේ වාස්තවික අර්ථයකින් ඉතිහාසය ගැන කථා කරන්න පුළුවන්ද කියන තර්කය තමයි මෙතැන තියෙන්නේ. ඒ නිසා තමන්ගේ වාරයේදී විග්නේශ්වරන්ගේ මතය වැරදි බවත්, නිවැරිදි යැයි තමන් සිතන ඉතිහාසය වෙනස් එකක් කියල කියනව හැර වෙන ක‍්‍රමයක් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ නැහැ කියල තමයි අන්තිමට පිළිගන්න වුනේ. දැන් ඉතිහාසය පිළිබඳ කථිකාවේ තියෙන මේ සංදිග්ධභාවය හෙවත් වාදභරිතභාවය පිළිබඳව වඩාත් පළල් ආකාරයෙන් කථා කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව මගේත් පිළිගැනීමයි.

3. මෙතැන මට වැදගත් වෙන කාරණය විග්නේශ්වරන් කියන එකේ පදනමක් තියෙනවද කියක එක නෙමෙයි. මම හිතන්නේ ඉතිහාසය පිළිබඳ ක්ෂේත‍්‍රයේදී සිදුකරන දත්තමය සම්මුතිය වෙනත් විෂයක තියෙන දත්තමය එකඟතාවකට වඩා හුඟක් සංකීර්ණයි කියන එකයි. දර්ශනයේ වචනයකින් කිව්වොත් ඉතිහාසය වගේ විෂයක සත්‍ය පිළිබඳ යථානුභූතවාදී විනිශ්චයක් (positivistic judgment)  දිය හැකිද යන කාරණය මෙහිදී අපගේ අවධානයට යොමු වෙන ප‍්‍රශ්නයයි.

4. මෙතැන මතුවෙන ඊළඟ ප‍්‍රශ්නය අපිට සම්මත ඉතිහාසයක් (පිළිගත හැකි ඉතිහාසයක්) කියල එකක් නැද්ද කියල. මේ කාරණය විශේෂයෙන් මතුවෙන්නේ වසර සිය ගණනක අතීතයක් පිළිබඳ කථිකාවන් (discourses on past) රාශියක් අපිට තිබුණත් ඒවා අතරින් දෙන ලද සන්දර්භය තුළ පිළිගනු ලබන ඉතිහාසයක් සෑම විටම පවතිනවා යන්න අපි පිළිගත යුත්තේ කුමන පදනමක් තුළද කියන ප‍්‍රශ්නයයි. මේ සඳහා අපේ රටේ ඉතිහාස අධය්‍යන ක්ෂේත‍්‍රයේ ගැඹුරින් සාකච්ජා වෙනවාද කියා මා දන්නේ නැහැ. ඒත් මේ ඉතාමත් වැදගත් ප‍්‍රශ්නයක්.

5. මේ ගැටළුව ඉතිහාසයේ දර්ශනය ක්ෂේත‍්‍රයේ සහ ඉතිහාසකරණය (historiography) ක්ෂේත‍්‍රයේ ඉතාමත් දිර්ඝව සාකච්ජා කරනු ලබනවා. ඉතිහාසය කියල තමන් කැමති  ඕනෑම අදහසක් නිවැරිදියි කියල කියන්න අමාරුයි වගේම නිල ඉතිහාසය පිළිබඳ කථිකාව හරිම පරිස්සමෙන් තේරුම් ගත යුතු දෙයක්. මේ නිලභාවය නිසා සමහර ජනවර්ලවල හා මිනිස් කණ්ඩායම්වල ඉතිහාසය සම්පූර්ණයෙන්ම මැකෙන්නත් පුළුවන්.

6. මෑතක නිර්මාල් විසින් ලියන ලද ලංකාවේ ඉතිහාසය දෘෂ්ටිවාදී විචාරයක් කෘතිය තුළ මේ ප‍්‍රශ්නය පළල් ආකාරයකින් සාකච්ජා කරනු ලබනවා. මෙම ගැටළුව පිළිබඳව මේ බ්ලොග් අඩවියේ තවදුරටත් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙනවා. 


No comments:

Post a Comment